Home අධ්‍යාපන ලොව ප්‍රථම අත්දැකීම

ලොව ප්‍රථම අත්දැකීම

0
52

ලෝකයේ ප්‍රථම සම්පූර්ණයෙන්ම විදුලිය මගින් ධාවනය වන මගී ගුවන් යානය පියාසර කිරීමට සූදානම්.

ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද ඇලිස් ගුවන් යානය පසුගිය සතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි ආර්ලින්ටන් නාගරික ගුවන් තොටුපළේදී එන්ජින් පරීක්ෂාවට ලක්කෙරුණා.

විදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැයක කාලයක් ගමන් කිරීමට හැකියාව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මගීන් නව දෙනෙකුට ගමන් කළ හැකි ඇලිස් යානයට පැයක් තුළ නාවික සැතපුම් 440ක් පමණ පියාසර කිරීමට හැකියි.

යානයේ උපරිම ගමනාගමන වේගය පැයට සැතපුම් 287ක්.

විදුලි ගුවන් ගමන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන සමාගම මගීන් 20 සිට 40 දක්වා ගමන් කළ හැකි විදුලි ගුවන් යානා වසර හතක් හෝ 10ක් තුළ යථාර්ථයක් කිරීමට අපේක්ෂා කරනවා.

සමාගම විසින් මූලාකෘතියේ අනුවාද තුනක් සංවර්ධනය කර ඇති අතර ඒ “මගි” ප්‍රභේදයක්, විධායක අනුවාදයක් සහ භාණ්ඩ සඳහා විශේෂිත එකක් ලෙසයි.

මගී ගුවන් යානයේ වින්‍යාසය මගීන් නව දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු මෙන්ම භාණ්ඩ රාත්තල් 850 ක් ප්‍රවාහනය කිරිමට හැකි අතර විධායක සැලසුමට වඩා ඉඩකඩ සහිත ගුවන් ගමනක් සඳහා මගී ආසන හයක් ඇති අතර භාණ්ඩ ප්‍රවාහන යානය ඝන අඩි 450 ක පරිමාවක් දරන බවට වාර්තා වනවා.

සමාගමට අනුව වාණිජ ජෙට් යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැය 70% දක්වා අඩු කර ගනිමින් මේ සියල්ල කළ හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.