Home දේශපාලන ගෝඨා ගෝ හෝම් සටන් පාඨය හිස්…

ගෝඨා ගෝ හෝම් සටන් පාඨය හිස්…

0
89

ප්‍රශ්නය – අන් කවරදාටත් වඩා මේ වන විට රටේ මහජනතාව ඔවුන් සතු බලය අතට ගනිමින් සිටිනවා. ඉල්ලීම් දිනා ගැනීම සඳහා ජනතාව ඔවුන් සතු බලය භාවිත කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් කාලයක සිට සඳහන් කරන කාරණයක්. පවතින තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – අපි කාලයක් තිස්සේ මහජනතාව බලය අතට ගත යුතු බව සඳහන් කරනවා. ඇත්තටම අපේ රටේ ජනතාවට සිය බලය භාවිතා කිරීමට හැකි වන්නේ ඡන්දයේ දී පමණයි. ඡන්දයෙන් පසුව ඔවුන්ගේ බලය ගිලිහී අතුරුදන්ව යනවා. ඇත්තටම කිව්වොත් ඔවුන්ගේ බලය පොල්කුඩු හා සමාන වෙනවා. ඉන්පසු ජනතාවගේ බලය අතට ගත් දේශපාලනඥයන් කරන ඒව තමයි අපට බලන්න ඉන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ ජනතාව තමන් සතු බලය අතට ගන්ඩ ඕන කියලා. ජනතාව අවස්ථා ගණනාවක දී ඒ සිය බලය අතට ගත්තා. සයිටම් අරගලයේ දී එය සිදු වුණා. සයිටම් සම්බන්ධයෙන් මගේ මතකය නිවැරදි නම් නඩු තීන්දු නමයක් ආවා. නමුත් ඒ සියල්ල අභිබවා අවසානයේ සයිටම් අරගලය ජයග්‍රහණය කළා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත, පොහොර අරගලය, ගුරු අරගලය ආදී අරගලවලදී මහජන බලය ඉදිරියට ආවා. ඒ සියල්ල ආවේ සීමිත මාතෘකා තුළ. නමුත් වත්මන් අරගලය ඊට එහා ගිය එකක්. රට සම්බන්ධ කාරණය සමස්ත න්‍යායපත්‍රයට ආදේශ වන තැනට අරගලය ගොඩනැඟී තිබෙනවා. ඇත්තටම එය ජනතා ජයග්‍රහණයක්.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවෙන් පිට බලයක් ගොඩනැඟිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා. එය එසේ කරන්නේ කෙසේද?

පිළිතුර – ඒ සඳහා ගම් මට්ටමෙන් නගර මට්ටමින් ජන බල සභා ගොඩනඟන්න අවශ්‍යයි. ඒ තුළ සෑම පක්ෂයකම නියෝජනයක් ගොඩනැඟිය යුතුය. ඒ හරහා ජාතික කවුන්සලයක් ස්ථාපිත කිරීම අවශ්‍යයි. පටලවා ගන්න එපා මේ ව්‍යවස්ථාවෙන් ගොඩනඟන කවුන්සිලයක් නෙවෙයි. මිනිසුන් අරගල කර එළියේ ගොඩනඟා ඇති බලය ව්‍යවස්ථාවෙන් ගොඩනැඟූ බලයක් නොවෙයිනේ. යන්න බෑ කිව් බැසිල්ගෙන් තියෙන්නේ, කැබිනට්ටුව ඉල්ලා අස්ව තිබෙන්නේ ඒ බලය නිසයි. නමුත් එම බලය ව්‍යුහගත වෙලා නැහැ. අපේ යෝජනාව එම බලය දිගුකාලීනව ව්‍යුහගත කළ යුතු බව. එය සැකසිය යුත්තේ ජනතාව විසින් මිස ව්‍යවස්ථාව තුළින් නෙමෙයි.

ප්‍රශ්නය – ඔය කියන බලය ව්‍යවස්ථාව තුළින් විවෘත කළොත් ඇති ගැටලුව කුමක්ද ?

පිළිතුර – එසේ කරන්න ගියොත් වෙන්නෙ පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට හැදිලා තිබෙන ලෙඩේ මේකටත් හැදෙන එකයි. අපි කියන ව්‍යුහය පවතින්නේ ජනතාවගේ සක්‍රීයතාවය තුළයි.

ප්‍රශ්නය – ඔය කියන ආකෘති ලෝකයේ වෙන කොතැනක හරි තැනක තිබෙනවාද?

පිළිතුර – මේවා ගොඩනැඟෙන්නේ අරගල තුළින්. ලෝකයේ වෙන කොහේ හෝ තිබිය යුතුයි කියන එකක් නැහැ. අපි සඳහන් කරන මෙම කාරණය ගුරු අරගලය උදාහරණයක් ලෙස ගෙන බලන්න. ගුරු අරගලයේදී අරගලයට පෙර ගුරු සංගම් සිටි තැන සහ අරගලයෙන් පසුව ඔවුන් පැමිණි තැන බලන්න. අරගලය තුළින් ඔවුන් ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ තැනට ආවා. ඒ නිසයි අපි කියන්නේ අරගලය තුළින් මතුව ඇති බලය ස්ථාවරව පවත්වාගෙන යන්න ව්‍යූහයක් අවශ්‍ය බව. එම ව්‍යුහය තුළින් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප වන්නේ නැහැ. පාර්ලිමේන්තුවක් පවතීවි. ඡන්ද සඳහා පිරිස් ඉදිරිපත් වේවි. නමුත් ඒ බලයට සමාන්තරව අපි සඳහන් කරන බලය තිබෙනවා. ඒ නිසයි ජාතික කෞශල්‍යයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය අප කියන්නේ.

ප්‍රශ්නය – තරුණයන් ආරම්භ කළ අරගලය තුළ ගෝඨා ගෝ හෝම්, 225 ම අපට එපා යන සටන් පාඨ ඉහළින්ම තිබෙනවා. එම සටන් පාඨ සම්බන්ධයෙන් අදහස කෙසේද?

පිළිතුර – ගෝඨා ගෝ හෝම් සටන් පාඨයේ හිස්කමක් තිබෙනවා. ඒ නිසයි ගොඩක් අය අහන්නේ ගෝඨාභය ගෙදර ගියහම ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒ නිසා අප උත්සාහ ගන්නවා ඊළඟට වෙන දේ ගැන යම් ඌණ පූර්ණයක් ලබාදෙන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අප කියන්නේ ඒ නිසයි. ගෝඨා ගෝ හෝම් කිව්ව පසු ගෝඨාභය ගෙදර යනවා. නමුත් විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවතිනවා. හරි නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පසු එතැනට එන්නේ කවුද යන්න කියන ප්‍රශ්නය එන්නේ නැහැ. ඒ වගේම 225 එපා කියන සටන් පාඨය තුළ ඇති දේශපාලනය අප මතු මතු කරගන්න උත්සාහ ගන්න ඕනෑ.

ප්‍රශ්නය – ගෝල්ෆේස් පිටිය ආසන්නයේ ජනාධිපති ලේකම් කාර්යාලය අභිමුව ආරම්භ කළ අරගලයට ඉරිදා දිනට 01 වැනිදා දින විසි තුනක් සපිරෙනවා. මේ වන විට අපට පෙනෙන්න තිබෙන කාරණය වන්නේ එම අරගලය ඊළඟ අදියරට ළඟා වෙමින් පවතින බව.

පිළිතුර – ඔව්.. අරගලය එක් මුහුණුවරකින් ඊළඟ මුහුණුවරට මාරු වෙමින් තිබෙනවා. සංවිධිත ව්‍යාපාර හරහා ගෝල්ෆේස් අරගලය ඊළඟ පියවරට රැගෙන යමින් පවතින මොහොතක් මෙය. ඇත්තටම මෙහි යම් හැරවුමක් තිබෙනවා. එම හැරවුම අප ශක්තිමත්ව ගන්න අවශ්‍යයි. එයින් තව දේවල් කරන්න තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සූක්ෂමතාව සහ දේශපාලන සංයමය තිබිය යුතුයි. ඇත්තටම මෙහි අංක එක අරගලය. එය කේන්ද්‍ර කරගෙන තමයි දේශපාලන වාද විවාද මත වාද ඉදිරියට ගෙන යා යුත්තේ.

ප්‍රශ්නය – අරගලය පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද?

පිළිතුර – අරගලය ආරම්භයේ සිටම අපේ මැදිහත්වීම තිබෙනවා. දේශපාලන පක්ෂ ගොඩනැඟී තිබෙන්නේ මහජන අරගලවලට නායකත්වය දෙන්න. හැබැයි බලෙන් නායකත්වය දෙන්න බැහැ. ඒක හරියට ආදර කතාවක් වගේ. ආදරය ඉදිරියට යන්න නම් දෙදෙනාගේ කැමැත්ත අවශ්‍යයි. ඒ වගේ තමයි මෙයත්. ජනතාව අපේ නායකත්වය ඉල්ලන ප්‍රමාණයට අප නයකත්වය දෙන්න ඕනෑ. බලහත්කාරයෙන් එම නායකත්වය ගන්න ප්‍රවේශයක අප කිසිසේත් නැහැ. එය කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. මේ බහුපාර්ශ්වීය අරගලයක්.

ප්‍රශ්නය – රට තුළ පවතින ආර්ථික අර්බුදයේ ජනජීවිතය කබලෙන් ලිපට ඇද දමා තිබෙනවා. අරුබුදය තව කොපමණ කාලයක් පවතී යැයි ඔබ සිතනවාද?

පිළිතුර – නව මහ බැංකු අධිපතිතුමා කිව්වා වගේ මාස හයෙන් මේකට බ්‍රේක් ගහන්න බෑ. මෙය දීර්ඝ කාලයක් ඇදී යන ආර්ථික අර්බුදයක්. ඩොලර් මිලියන 500 ගානේ ණයට හිඟමන් අරන් මෙම ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ තුළින් වෙන්නේ තව තවත් අර්බුදය උඩු දුවන එකයි. පවතින අර්බුදයෙන් ගොඩ යෑම සඳහා අඩුම තරමේ ඩොලර් බිලියන 4 ක් වත් අපට අවශ්‍යයි. මෙම අර්බුදය වසර පහ හයක් ඇතැම් විට වසර දහයකටත් එහා පවතීවි. අපට වර්ෂ 2026 වන විට ඩොලර් බිලියන හයක් ගෙවන්න තිබෙනවා. අප දැනට ගෙවා තිබෙන්නේ ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණයි. ණය කල් දමා ගත්තත් ඒවා පොලිය සමග ගෙවන්න වෙනවා. ඇත්තටම මෙම ප්‍රශ්නය විසඳීමට නම් විකල්ප දේශපාලන බලයක් ගොඩනඟා ජනතාව බලය අතට ගන්න ඕනා. සමාජ පරිවර්තනයක් නොමැතිව මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි.

● සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

https://bit.ly/3F32J51