27 C
Colombo
Tuesday, September 27, 2022
Google search engine
Homeදේශපාලනනව තරුණ දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු!

නව තරුණ දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු!

ලිබරල් තරුණ ව්‍යාපාරය වශයෙන් අපි මේ මොහොතේ සමස්ත ශ්‍රි ලාංකික ප්‍රජාවෙන්ම ඉල්ලා සිටින්නේ නිර්ප්‍රචණ්ඩකාරීව, සාමකාමීව සහ වගකීම් සහගතව  පුරවැසි අරගලයෙහි නිරත වන ලෙසයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය සහ මේ වන විට ඇති වී තිබෙන දේශපාලන හා සාමාජයීය නොසන්සුන්තාවය විධිමත්ව ආමන්ත්‍රණය කරමින් ප්‍රායෝගික විසඳුම් කරා ගමන් කිරීමට රටෙහි සියලුම පුරවැසියන් සක්‍රීයව ඇතුළත් කර ගැනීම සදහා සවිබල ගැන්වීම ලිබරල් තරුණ ව්‍යාපාරයේ අරමුණයි.

රටෙහි දීර්ඝකාලීනව පැවති දූෂිත දේශපාලන ක්‍රමවේදයෙහි අහිතකර ප්‍රතිඵලයන්ගේ පිපිරීයාම පුරවැසි අරගලයෙන් නිරූපණය වු අතර අරගලයෙහි  මූලිකත්වය දරණ ලද්දේ මේ රටේ තරුණ ප්‍රජාව බව අවිවාදාත්මක කරුණකි. ඒ අනුව රටක දේශපාලන, සමාජයීය සහ ආර්ථික ප්‍රවාහයේ ප්‍රධානම කොටස්කරුවන් වන තරුණ ප්‍රජාව ආවේගතා සහ සංවේදතා වලින් තොර දේශපාලන, ආර්ථික, සමාජයයීය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳව වඩා දැනුවත්වූත් පුරවැසියන් ලෙස රටෙහි දේශපාලන ව්‍යූහයට පු`ථල්ව සහ සක්‍රීයව දායකවීම ධෛර්යමත් කිරීම අප ව්‍යාපාරයෙහි ප්‍රධාන අරමුණයි.

අපේ රටේ අද දවසේ උද්ගතව ඇති දරුණු දේශපාලන, සාමාජයීය සහ ආර්ථික අර්බුදය යනු වසරක හෝ දෙකක වැරදි දේශපාලන තීන්දු තීරණවල ප්‍රතිඵලයක් පමණක් නොව එය දශක ගණනාවක, වඩා පැහැදිලිව දක්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරයේ සිට මේ දක්වාම සක්‍රීය දේශපාලනය සිදුකරන්නන් හා දේශපාලන බලය දරන්නන් විසින් ගනු ලැබූ වැරදි, අත්තනෝමතික සහ අභිමතානුසාරී තීන්දු තීරණවල ප්‍රතිඵල බව අපගේ වැටහීමයි. 

දේශපාලනය උපතේ සිට මරණය දක්වා වන සෑම මිනිස් ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වුවද, අප රටේ බහුතර පුරවැසියන් දේශපාලනය ලෙස දකින්නේ මැතිවරණ සමයක තමා කැමති දේශපාලන පක්ෂයට සහාය දීමත්, මැතිවරණ දිනයේ ඉතා උනන්දුවෙන් ඡන්දය ඵල කිරීමත් පමණි.

නමුත් පසුගිය කාලයේ ජාතියක කොඳු නාරටිය ලෙස සැලකෙන රටෙහි මූලික නීතිය  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිඳු වග විභාගයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට එරෙහිව බලයෙහි සිටින පාලකයන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් අවම වශයෙන් දහඅට වරක් සංශෝධනය කරන තෙක් රටෙහි ජනතාව නිහඬව සිටි අයුරුත්, අපගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන ස්වභාවයේ අන්තර්ජාතික ගිවිසුම්වලට එළඹෙද්දී ඒවා නොදැනෙන සේ සිටින අයුරුත්, නීතියේ ආධිපත්‍ය සහ සමානාත්මතාවය මියැදෙමින් සිටි අවස්ථාවන්හිදී  දේශපාලඥයන්ගෙන් ලැබෙන සුලු වරප්‍රසාද වෙනුවෙන් ඒවා සාධාරණීකරණය කරන අයුරුත් අප දුටුවෙමු.

දේශපාලනික වශයෙන් අප රටේ පවතින දරුණු ඛේදවාචකයට හේතුව වශයෙන් අප දකින්නේ දේශපාලන ස්වභාවයෙහි සිදුවීම් සදහා පුරවැසි මැදිහත් වීමෙහි අඩුව සහ දේශපාලන සාක්ෂරතාවයෙහි මදකමයි. එමනිසා දේශපාලනමය ස්වභාවයේ සිදුවීම් බොහෝ පුරවැසියන් විසින් කියවනු ලබන්නේ බුද්ධිවිරෝධීව මෙන්ම ආවේගතා සහ සංවේදීතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමිනි. එහි ප්‍රථිඵලය බොහෝවිට හිංසනය, ප්‍රචණ්ඩත්වය හෝ ආඥාදායි පාලකයන් කෙරෙහි විශ්වාසය තැබීම වේ.

මෙම තත්වය වෙනස් කරමින් බුද්ධි විචාරශීලී දැනුවත් ප්‍රජාවක් ලෙස දේශපාලන ප්‍රවාහයට ඇතුළත් වීමට නම් වටිනාකම් ගරු කළයුතු බව අපගේ වැටහීමයි.

තවද,මෙම රටේ දේශපාලන සහ සමාජ ක්‍රමය වටිනාකම් මත ගොඩ නංවා ගැනීමට තරුණ ප්‍රජාව ප්‍රමුඛ සමස්ථ පුරවැසියන් එක් කණ්ඩායමක් සහ එක් ව්‍යාපාරයක් වශයෙන් ගොනුවිය යුතු බව අපගේ අදහසයි.

ජාතියක් සිය අභිවෘද්ධිය කරා මෙහෙය විය හැකි ප්‍රධානතම වටිනාකම වශයෙන් අප විශ්වාස කරන්නේ නිදහසයි ^LIBERTY&. එනම් පුද්ගලයන්ගේ නිදහස් තේරීම් වලට බාධා නොකරමින් එක් එක් තනි

පුද්ගලයාට ඔහුගේ ජීවිත කතාවෙහි ස්වයං කතෘ බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත්, එහිදී ඔහුට අවශ්‍ය කරන සිවිල්, දේශපාලන, ආර්ථික සහ සාමාජයීය අයිතිවාසිකම් තහවුරු කිරීමත් වේ. 

එමෙන්ම මෙම සමාජ ක්‍රමයෙහි අඛණ්ඩ සහ සුමට පැවැත්ම සදහා සෑම පුද්ගලයෙකුම සමාන වැදගත්කමක් ^INDIVIDUALISM& දරන බව සමාජයට ඒත්තු ගන්වමින් බහුතරයෙහි මර්ධනයෙන්

සුලුතරය ආරක්ෂා කරනු ලබන එනම් සෑම පුරවැසියෙකුටම සමාන සහ උපරිම ගෞරවයක් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමත් එම වටිනාකම් අතර වේ. 

තමා විසින්ම සහාය දී බලයට පත්කරන තැනැත්තන් ඔවුන් පත් කරනු ලබන අරමුණ වෙනුවෙන් බලය ක්‍රියාත්මක කරන්නේද යන්න නිරතුරු සැකයෙන් පසුවෙමින් ^SCEPTICISM OF POWER& නිසි විමර්ශනයන් හා ප්‍රශ්නකිරීම් සිදුකළ හැකි පෞර්ෂයෙන් යුත් නූතන පරම්පරාවක් බිහි කිරීමත් අප උර දෙන වටිනාකමකි.

ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතන සිය බලය අතික්‍රමණය කිරීම වළක්වමින් පාලක පාලිත දෙපිරිසෙහිම අයිතිවාසිකම් සමානව ආරක්ෂා කරමින් රටක් එහි සමෘද්ධිය කරා ගෙනයන මෙවලම ලෙස නීතියේ ආධිපත්‍යය ^RULE OF LAW& හඳුනාගැනීම ද, තම ප්‍රජාවේ ගැට`ථ විසඳා ගැනීමට දේශපාලඥයන් හෝ ආණ්ඩුව මතම යැපෙන යැපුම් මානසිකත්වය වෙනුවට අභිමානවත් පුරවැසියකු ලෙස වගකීම් භාරගැනීමට ^RESPONSIBILITY& තනි පුද්ගලයන් සවිබල ගන්වමින් ඒ හරහා ආණ්ඩුවට වඩා ඉහළින් වැජඹෙන පුරවැසියකු නිර්මාණය කිරීමත්, එසේ නිර්මාණය කරනු ලබන පුරවැසියා විසින් අන් මත සහ වෙනස් මත දරාගැනීමට ^TOLARANCE& පුරුදු පුහුණු කිරීමත්, සමාජයක් තුළ ජීවත්වීමේදී ගැටෙන අවශ්‍යතා සහ අයිතිවාසිකම් පවතින බවත් එහිදී ප්‍රචණ්ඩත්වයෙන් සහ ගැටුම්වලින් තොරව ඒත්තු ගැන්වීම් සහ ප්‍රත්‍යක්ෂ කිරීම් තුළින් එකඟතාවයන්ට පත්විය හැකි මට්ටමේ සදාචාරාත්මක බවක් ^PEACE&  වර්ධනය කරගැනීමටත් සාමූහිකව ක්‍රියා කිරීම අපගේ අරමුණ වේ.

ඉහත කී වටිනාකම් අප ආණ්ඩුක්‍රමයට සහ සමාජ ක්‍රමයට සාරෝපණය කර ගැනීම තුලින් වර්තමානයේ අප මුහුණ දෙන ස්වභාවයේ අර්බුදයන්ගෙන් අනාගත පරම්පරා මුදවාලීමට හැකි බව අපගේ විශ්වාසයයි.

ඒ සදහා ඉහත කී වටිනාකම් පොදුවේ පුරුදු පුහුණු කරමින් අප වටා සිදුවන සියලුම දේශපාලන ස්වභාවයේ සිදුවීම් එකී වටිනාකම් හි දෘෂ්ටිකෝණයන්ගෙන් අර්ථකතනය කිරීමට තරම් දැනුවත් ප්‍රජාවක් බිහිකිරීමෙහි ලා වන සාමූහික ප්‍රයත්නයට උර දෙමින් මනා දේශපාලන සාක්ෂරතාවයෙන් යුත් දැනවත් පුරවැසියකු ලෙස මෙම දේශපාලන ප්‍රවාහයට එකතුවීමට ඔබ සැමට ආරාධනා කරමු.

නීතිඥ නාමිණී පණ්ඩිත       

යුසූෆ් ෂෙරීෆ්               

අරුණි අත්තනගොඩ   

රුසිරු එගොඩගේ

දුරකථන                              

නාමිණී පණ්ඩිත – 077 0369316        

යුසූෆ් ෂෙරීෆ්    – 077 2952088

RELATED ARTICLES